ගරු ගාම්භිර ලෙසින් දකුණු ලකට සුවිසල් මෙහෙවරක් කරමින් දෙණියාය කඳු වලල්ල ලෙසින්ම අභිමානවත්ව වෙසෙමින් ජාතියට නැණවත්,ගුණවත්,කීර්තිමත්,දිරිමත් දරු කැලක් බිහි කරමින් දිවයිනම පෝෂණය කරන්නා වු මාර/පල්ලෙගම ද්විතියීකය...
දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරලයේ දෙණියාය නගරයෙන් කි.මි.තුනක් පමණ ඔබ්බෙන් මුහුදු මට්ටමෙන් අඩි 2200 ක් පමණ උසින් යුතු ගිං ගංගා නිම්නයේ පිහිටි රමණීය කඳු ගැටයක මාර/පල්ලෙගම ද්විතියීක පාසල වැජඹෙන්නීය.වර්තමානයේ දසතට සෙවන සදාලන විසල් රුකක් වන් වූ ද්විතියීක විදු මාතාව 1893 දී කුඩා පැළෑටියක් ලෙසින් රෝපණය විය.එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉඩම් සංවර්ධන අමාත්‍ය වික්ටර් රත්නායක මහතාගේ පියා වු ඒ.එම්.ඩබ්.රත්නායක මුහන්දිරම්තුමන් විසින් තමන්ට අයත් ගිං ගං ඉවුරේ පිහිටි ඉඩමක් මේ සඳහා ලබාදෙන ලදි.බටකොල සෙවිලි කල ගොඩනැගිල්ලක සිසුන් 8 දෙනෙකුගෙන් විද්‍යාලය ආරම්භ කරන ලදි.1918 දී මුහන්දිරම් තුමන් විසින් වේලේ ශාලා පරිශ්‍රයේ ගොඩනැගිලි තනවා දී පාසල එම ස්ථානයට ගෙනගොස් ඇත.1893 සිට 1917 අගෝස්තු මාසයේ 16 වන දිනය දක්වා මුල්ම විදුහල්පති ලෙස ජී.අමාරිස් මහතා කටයුතු කරන ලදි.ඉන් අනතුරුව කේ.එම්.සමරවීර මහතා විදුහල්පති වශයෙන් පත්විය.
සිසුන් 112 ක් පමණ එකල සිප්සතර හදාරා ඇත.මේ වකවානුවේදී තවත් ගොඩනැගිල්ලක් ඉංග්‍රීසින් විසින් ඉදිකර දී ඇත.විදුහල පිහිටි හේනේ කෑල්ල නම් ඉඩමේ විද්‍යාලය ආරම්භ වන්නේ 1956 සැප්තැම්බර් මස 17 වන දිනයි.1956 සිට විදුහලින් ජ්‍යෙෂ්ඨ සමතුන් බිහිවන්නට වු අතර එම වර්ෂයේ දෙසැම්බර් මස පැවති අ.පො.ස සා.පෙළ විභාගය සඳහා ප්‍රථමවරට සිසුන් ඉදිරිපත් කර ඇත.සිසුන් සිව්දෙනෙක් ඉදිරිපත්වූ අතර දයාලතා මද්දුගොඩ ශිෂ්‍යාව විභාගයෙන් සාමාර්ථ ලබා ඇත.ඇය ප්‍රථම වරට අප විදහල් මාතාවගෙන් බිහිවු අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් ශිෂ්‍යාව ලෙස ඉතිහාසයට එක් වෙයි.
මෙපරිද්දෙන් දිනෙන් දින දියුණුවට පත්වන පල්ලෙගම විදු මාතාව නම් සුපිපි පියුම සිය මකරන්ධයේ සුවඳ දසත විහිදුවමින් 1982 වර්ෂයේ මහා විද්‍යාලයක් බවට පත් වන්නීය.එවකට විදුහලේ නියමුවාණන් වුයේ කේ.එම්.ඩබ්.මොහොට්ටාල මහතාය.විදුහලේ අභිනවයෙන් ඉදිකල ක්‍රීඩා භූමිය එවකට හිටපු අග්‍රාමාත්‍ය ආර්.ප්‍රේමදාස මහතාගේ සුරතින් විවෘත වීම සමකල සිදු වූ සුවිශේෂි දෙයකි.උසස් පෙළ විභාගයට ඉදිරිපත් වු සිසුන් සිව් දෙනාගෙන් තිදෙනෙක්ම සාමාර්ථ ලබා ගත්තේය.1983 වර්ෂයේදී අලංකාරවත් බුදු මැදුරක් ඉදිකර දුන් වී.ජී.අන්ද්‍රියස් අප්පුහාමි මැතිතුමන්ද බැතියෙන් සිහිපත් කල යුතුම වේ.
1987 වර්ෂයේදී පර්ෂද මූලස්ථ විදුහලක් බවට අප විදු මාතාව පරිවර්තනය වෙයි.ඒ වන අ.පො.ස උසස් පෙළ කලා විෂය ධාරාවන් යටතේ පන්ති ආරම්භ වී පැවතුණි.මේ කාල පරිච්ඡේදයේ සංගීත අංශය,පෙරදිග නැටුම් කණ්ඩායම,බාලදක්ෂ සමූහය ,ශාන්ත ජෝන් ගිලන් රථ හමුදා කණ්ඩායමද පරිසර කමිටුවක්ද ආදී විෂය සමගාමී අවස්ථාවන් ආරම්භ වී ඇත.එවකට විදුහල්පති වූ එස්.ධර්මසේන මහතා විසින් විදුහලේ ආදර්ශ පාඨයත් නිල ලාංඡනයත් නිර්මාණය වීම සිදුවිය.1990 දී නව පාසල් ගීතයක් හඳුන්වාදීම සිදු විය.එහි නිර්මාතෘවරයා වන්නේ කොළවෙනිගම විදුහලේ විදුහල්පති ලෙස සේවය කල ජී.ජේ.එම්.පෙරේරා මහාතාය.එහි තනු නිර්මාණය කලේ විද්‍යාලයේ සංගීත අචාර්ය ආනන්ද කුමාර මහාතාය.1993 දී විදුමාතාව අභිමානවත් සියවස සැමරුම සනිටුහන් කරන ලදි.එදින තවත් දෙමහල් මන්දිරයක් සඳහා මුල් ගල තැබූ අතර මෙසේ කාලය ගෙවී යද්දි අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස සිදුවිය.ක්‍රීඩා අංශය සඳහා සුසන්ත නානායක්කාර ගුරු පියාණන් ප්‍රධානත්වයෙන් මහවැලි,කැළණි,නිල්වලා යන නම් වලින් ක්‍රීඩා උත්සවය ඇරඹුනි.1995 වර්ෂයේදී පලාත් තරඟ නව වාර්තා සහිතව සිසුන් විසින් ජයග්‍රහණය කරන ලදි.එදා සිට අද දක්වා විදුහල්පති වරුන් කිහිප දෙනෙකු පත් වූ අතර එම කාල සීමාවන් තුල විදුහලේ අභිවෘද්ධිය සඳහා වැඩකටයතු රාශියක් ඉටුකෙරිනි.2012 වසරේ එච්.ජී.දයාරත්න මහතා විදුහල්පති ධුරයේ වැඩභාරගත් අතර 2013 වසරේ මාර්තු 09 දින මාර/පල්ලෙගම මහා විද්‍යාලය ද්විතියීක පාසලක් බවටද විද්‍යාලයේ ප්‍රාථමික අංශය සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය නමික්ද වෙනම විද්‍යාලයක් බවට පත්වුනි.එදා සිට අද දක්වා කාලය තුල භෞතික හා මානව සම්පත් රාශියක් පාසලට ලැබී ඇත.මහින්දෝදය විද්‍යාගාරය,ප්‍රධාන ශාලාව,සුහුරු පන්ති කාමරය,කාය වර්ධන මධ්‍යස්ථානය ඒ අතර ප්‍රමුඛ වේ.2018 වර්ෂයේදී සිය 125 වන සංවත්සරය අභිමානවත්ව සැමරු විදු මාතාව ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගනිමින් දිරියෙන් ඉදිරියටම පා නගන්නීය.

|
ආරම්භ කළ වර්ෂය |
1893 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
08 |
|
මුල් ගුරුතුමාගේ නම |
ජී.අමාරිස් මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඒ.එම්.ඩබ්.රත්නායක මුහන්දිරම් තුමා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ගිං ගං ඉවුරේ ඉඩමක |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1893 ජුනි |